Saturday, November 26, 2011

සිතක සේයා..... 11


කඩුල්ල ළඟට ඇවිත් ආපහු හැරිල බැලූවාහම
ඔය ඇස් වල කඳුලූ පිරිල තිබුණ හැටි-
මට තවම මතකයි..... ඒ කඳුලූ දුකටද සතුටට ද කියලා
තේරුම් ගන්න - මට බැරි වුණා...
ඒ හැම කඳුලක්ම සතුටට වෙන්න ඇති කියලයි
මම හිතුවේ...
කැම්පස් එකට ගමෙන් එද්දි
මට ගේන්න ඉතුරු වෙලා තිබුනේ,
හිතේ ධෛර්ය විතරයි... ඉස්සල්ලම කැම්පස් එකට ආවම
මගේ හිතට දැනුන බර
මගේ පුංචි හිතට දරාගන්න
බැරිවෙයි කියලත් හිතුණා...
එදා මම කඩුල්ල ලඟට ආවාම
ඔය ඇස් වල කඳුලූ තිබුනේ
ඒ බර ඔය හිතට දැනුන නිසා කියල මම දැන් දන්නවා
අපි ජීවිතේ ගැටගහ ගත්තෙත්
බොහොම අමාරුවන් කියල මම දන්නවා...
ඒ අතරේ මාසෙකට වියදමට එවන්න
සල්ලි කොහෙන් හොයන්නද ?
ඒක මට නොකීවට මට තේරුණා.. තාත්තේ....
කැම්පස් එකේ හැම තැනම සුන්දර වෙලා
ඒත් මගේ හිතට ඒ සුන්දරකම් එක්ක
හාදකම් කරන්න වෙලාවක් තිබුනේ නෑ....
පොතක් එක්ක තනිවුනු වෙලාවට මට පෙනුනේ
පුංචි කාලේ මායිම් ගමට වෙලා දුව පැනපු හැටි
වෙඩි සද්ද ඇහෙද්දි මාව කරේ තියාගෙන රෑ තිස්සේ කැලෑවලට තාත්තා දුවපු හැටි....
පහුවදා ඇවිත් ගෙවල් උඩින් ගිය පතුරන් හොය හොය මිදුල පුරා ඇවිදපු හැටි....
මැරුණත් කාලා හරි මැරෙන්න ඕනා කියලා හවස් වෙද්දි ලං කරගෙන බත් කවපු හැටි....
උසස් පෙළ කරන්න නගරෙට
ඇවිත් ගොඩක් දුක් විඳපු හැටි...

පංති වලට යන්න බෝඩිම් වලට ගෙවන්න සල්ලි එවන්න,
ඉඩෝරෙට ආව වැහිත් එක්ක ඒ රළු පොළවත් එක්ක
පොරබැද්දේ පුළුවන් කමකට - නොවේ කියලා මම දන්නවා...... හවස ලෙක්චර් ඉවර උණාම
හැමෝම හොස්ටල් යද්දි... මම ගියේ රස්සාවකට
අදත් එහෙමයි....
නිවාඩු හැම වෙලාවෙම පොත් පැත්තකට දාලා ජීවන අරගලයට මුහුණ දෙන්න වෙලා..
සමහර අවස්ථා වල ගොඩක් දේවල් අහිමි වුණා...
ඒත් ඒ හැම අහිමි වීමකම
දිනුමක් ඇති කියලා මට දැනුණා....
ඒ දිනුමට පියවරෙන් පියවර අද මම ඇවිත් ඉවරයි..
අවුරුදු හතරකට පස්සේ ලොකු පුතා
ආයෙම ගෙදර එද්දි... කඩුල්ල ලඟ බලන් ඔය ඇස් වල
තාමත් කඳුළු කියල මම දන්නවා...
ඒ එදා වගේ ලොකු පුතාට උගන්නන්න සල්ලි නැති කමට දුක දැනිලා නොවේ.... ගොඩක් කළෙකට පස්සේ ලොකුපුතා
ලොකු මහත්තයෙක් වෙලා එන සතුට....ඔය අහිංසක සිතට දරා ගන්න බැරි නිසා කියලා මම දන්නවා තාත්තේ.....

ලොකු

No comments:

Post a Comment

සිතක සේයා -